1. අලීෆ් ලාම් මීම්
2. මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. ( අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවූ අයට යහමග පෙන්වන්නකි.
3. (ඔවුහු) අදෘශ්‍යමාන දේ පිළිබඳව විශ්වාස කරන්නාවූද, සලාත්හි නිරතව සිටින්නාවුද, ඔවුනට අප දුන් (මුදල් හා වස්තු ආදී) දේවලින් (යහපත් ක්‍රියා සඳහා) විය පැහැදම් කරන්නාවුද ය වෙති
4. තවද නුඹ වෙත පහල කල දෑ (අල්-කුරානය) ගැනද, නුඹට පෙර (පැමිණියාවූ වක්තෘවරුන්ට) පහල කල දෑ ගැන විශ්වාස කරන්නා වූ ද, තවද පරමාන්ත දිනය ගැන තරයේම විශ්වාස කරන්නා වූ ද (බිය හා බැතිමත් අයද වෙති)
5. ඔවුහු ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ යහමාර්ගයේ සිටිති. තවද, සැබවින්ම ඔවුහුමය ජය ලද්දෝ
6. (නබි මුහම්මද්!) නියත වශයෙන්ම (මෙම නියමයන්) ප්‍රතිෂේප කරන්නෝ කවරහුද? ඔවුනට නුඹ අවවාද කළෙහිද, ඔවුනට නුඹ අවවාද නොකෙළෙහිද එය ඔවුන්ට එක සමානය, ඔවුහු (කෙසේ වුවද) විශ්වාස නොකරති.
7. අල්ලාහ් ඔවුන්ගේ සිත්හිද, ශ්‍රවනයේහිද මුද්‍රා තබා ඇත. තවද ඔවුන්ගේ නෙත්හිද ආවරණයක් (පටලයක්) ඇත. තවද ඔවුන් දැඩිම දඩුවම ලැබීමට නියමිතය.
8. (නබි මුහම්මද්!) අපි අල්ලාහ් ගැනද පරමාත්ත දිනය ගැනද විශ්වාස කර අත්තෙමුයි කියන අය මිනිසුන් අතර සිටිති. නමුත්(නියත වශයෙන්ම) ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති.
9. ඔවුහු (මෙලෙස පවසමින්) අල්ලාහ්ද, විශ්වාස කරන්නවුන්ද මුල්කර(න්නට තැත්කර)ති. නමුත් (මෙමගින්) ඔවුහු තමන්ම විනා (අන් කිසිවකු) මුළාකර නොගනිති. නමුත් (ඔවුහු එබව) අවබෝධ කර නොගනිති.
10. (මක් නිසාද යත්) ඔවුන්ගේ හදවත් තුල (සක හා වංචා යන) රෝගය ඇත. අල්ලාහ් ඔවුන්ගේ (එම) රෝගය වැඩිකර ඇත. (සත්‍ය කණපිට පෙරලා) ඔවුන් පවසන මුසා බස් හේතු කොටගෙන ඔවුන්ට මහත් පීඩාකාරී වේදනා ඇත.
11. පෘථිවිය මත අනර්ථකාරී ක්‍රියාවන්හි නොයෙදෙන්නයි ඔවුන්ට කී කල්හි (එයට) නියත වශයෙන්ම අපි යහවැඩ කරන්නන් පමනෙකැයි (අනර්තකාමීහු නොවන්නේමුයි) ඔවුන් පවසති.
12. නියත වශයෙන්ම අනර්ථකාරී ක්‍රියා කරන්නෝ ඔවුන්මය. එහෙත් ඔවුහු (තමන් අනර්ථකාමීන් බව) අවබෝධ කර නොගනිති.
13. තවද (මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටින කුහකයින්ට) සෙසු ජනයා (අන්සාර් හා මුහාජිර්වරුන්) විශ්වාස කළාක් මෙන් නුඹලාද අවංකව විශ්වාස කරන්නැයි ඔවුනට කීකල්හි (එයට) මුග්ධයන් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කල යුතු දැයි ඔවුහු කියති. නියත වශයෙන්ම මුග්ධයෝ ඔවුහුමය. එහෙත් ඔවුහු (එ බව) නොදැන සිටිති.
14. තවද ඔවුහු විශ්වාස කරන්නන් හමුවූ විට අපිද (නුඹලා මෙන්) විශ්වාස කළෙමුයි කියති. එහෙත් ඔවුහු ඔවුන්ගෙන් වෙන් වී ඔවුන්ගේ ෂෙයිතානුන් (පාපිෂ්ට සහායකයින්) සමග තනි වූ විට, නියත වශයෙන්ම අපි නුඹලා සමග යයිද නමුත් (අපි මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටියද) හුන්දෙක් අපි ඔවුන් සමච්චලයට භාජනය කරන්නෝ පමණක් යැයි ඔවුහු කියති.
15. (එසේ නොව) අල්ලාහ් ඔවුන් සමච්චලයට භාජනය කර තවද ඔවුන්ගේ අසීමිත අන්ධභාවයෙන් (අනර්ථකම් කරමින්) අයාලේ යෑමට (අල්ලාහ් ) ඔවුනට අවකාශය පුළුල් කර ඇත.
16. යහමඟ (ඉස්ලාම් අනුව විශ්වාසය) වෙනුවට මුළාව (කුෆ්ර් භාවය) මිළට ගත්තෝ ඔවුහුම වෙති. එබැවින් ඔවුන්ගේ (මෙම) වෙළදාම ලාභදායි නොවිය. තවද ඔවුහු යහමග ලද්දෝද නොවෙති.
17. ඔවුනට උපමාව ගින්නක් දැල් වූ කෙනෙකු මෙනි. එවිට ඔහු අවට දස අතම ආලෝකමත් වූ විට අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (සංඥානය) ඉවතට ගත්තේය කිසිවක් නොදැකිය හැකි ලෙසින් ඔවුන් ඝනාන්ධකාරයන්හිම අත්හැරියේය.
18. (ඔවුහු) බිහිරිය, ගොළුය, අන්ධය, එබැවින් ඔවුහු (නිසිමගට) පෙරලා නොඑති.
19. එසේ නැතිනම් (ඔවුන්ගේ තත්ත්වයට තවත් උපමාවක් නම්) ඝනාන්ධකාරයන් හෙනහඬ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය. හෙණ හඬ ඇසෙන විට ඔවුහු මරණ භයින් ත්‍රසත්ව තම ඇඟිලි තමන්ගේ කන්හි අගුලුලා ගනිති. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව දසතින්ම වටකර ගනී.
20. විදුලි කෙටීමෙන් ඔවුන්ගේ දෘෂ්ටියලෝකය පැහැර ගත්තාක් මෙන්ය. (එමගින්) ඔවුනට ආලෝකය විසිදෙන විට ඔවුහු මඳක් ඇවිදිති. අඳුර ඔවුන් වේලාගන්නා විට ඔවුහු නිසලව සිටිති. අල්ලාහ්ට අභිමත වී නම් ඔවුන්ගේ ශ්‍රවණය හා ඔවුන්ගේ දෘෂ්ටිය (මුළුමනින්ම) නැති කරන්නටද හැකිය. නිසැකවම අල්ලාහ් සියලු දේ කෙරෙහි අතිබලසම්පන්නය.
21. මිනිසුනි, නුඹලාද නුඹලාට පෙර සිටියවුන්ද මවා වදාළ නුඹලාගේ රබ්(පරමාධිපති) වෙත අවනත වනු. මෙලෙසිනි, නුඹලාට ආරක්ෂාව ලබාගත හැක්කේ.
22. නුඹලාට මහපොළොව යහනාවක් හා අහස වියනක් කර, තවද අහසින් වැසි වස්වා එමගින් නුඹලාගේ පෝෂණය සඳහා පල වර්ග හට ගැන්වුයේද ඔහුමය. අබැවින් (මේ සියල්ල) නුඹලා පැහැදිලිව දැන සිටියදීත් අල්ලාහ්ට (කිසිසේත්) ආදේශයන් නොතබනු.
23. අපගේ ගැත්තා (මුහම්මද් නම් ධර්මදුතයාණන්) ට අප පහල කළා දෑ (අල්-කුර්ආනය) සම්බන්ධයෙන් (එය අල්ලාහ් විසින් පහල කළ බවට) නුඹලා සැකයේ සිටි නම් එවැනි සූරතයක් ඉදිරිපත් කරනු. තවද (එය සාක්‍ෂාත් කරනු වස්) අල්ලාහ් හැර නුඹලාගේ ආධාර කරුවන් කැඳවාගනු, නුඹලා සත්‍යවාදීහු නම්.
24.එහෙත් නුඹලා එසේ නොකරන්නාහු නම්, නුඹලාට කිසි කලෙකත් එසේ කිරීමටද නුපුළුවන. එබැවින් ප්‍රතික්ෂේප කරන්නන් සඳහා පිළියෙළ කරන ලද්දාවූත් ඉන්ධන වශයෙන් මිනිසුන්ද ගල්ද දවාලන්න වූ ගින්නට (නිරයට) බියවනු
25. (නබි මුහම්මද්! මෙම අල්- කුර්ආනය) විශ්වාස කරන්නා වූත් (එහි ඉගැන්වීම් අනුව) යහපත් ක්‍රියාවන් කරන්නා වූත් අයට අභ්‍යන්තරයේ ගලාබසින ගංගාවන්ගෙන් යුත් ජන්නත් (ස්වර්ගයේ උයන්වතු) ඇතැයි යන ශුභාරංචිය දන්වනු.එහි ඇති පළතුරු වර්ගවලින් ඔවුනට අනුභව කරන්නට දුන් සම විටම මීට පෙර අපට (මහපොළොවෙදී ) දෙනු ලැබුවේද මේවා යැයි ඔවුහු කියති. (මක්නිසාද යත් රසින් විවිධ වුවද පෙනුමෙන්) සමාන වූ දැය ඔවුනට පිරිනැමුණු නිසාය. තවද එහි ඔවුන්ට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද (විශ්වාසකර – යහකම් කළ) ඔවුහු සදාකල්හි (අමරණීයව) එහි වෙසෙති.
26. නියත වශයෙන්ම කෝඳුරුවකුගේ හෝ එයට වඩා අල්පවූවකුගේ හෝ උපමාවක් ගෙනහැර පෑමට අල්ලාහ් ලජ්ජා නොවන්නේය. (මෙවැනි උපමාවක් ඇසෙන විට) විශ්වාස කරන්නෝ එය ඔවුන්ගේ රබ් (පරමාධිපති)ගෙන් ලත් සත්‍යය යැයි දනිති. එහෙත්, ප්‍රතිෂේප කරන්නෝ මෙම උපමාවන්ගෙන් අල්ලාහ් කුමක් අදහස් කරන්නේ දැයි කියති. මෙවැනි දෙයින් ඔහු බොහෝ දෙනා නොමඟ යවන අතර බොහෝ දෙනා යහමඟටද පත් කරයි. තවද ෆාසිකූන්(අල්ලාහ්ට විරුද්ධව කැරකි ගසන අකීකරු අය) හැර අන් කිසිවෙකු (අල්ලාහ්) එමගින් නොමඟ නොයවයි.
27.ඔවුහු (කවරකුද යත්) අල්ලාහ්ගේ ගිවිසුම ස්ථිර කළායින් පසු එය කඩ කරන්නා වුද, එක්කරන ලෙස අල්ලාහ් නියෝග කළ දෑ වෙන් කරන්නා වූද මහපොළොවෙහි අනර්ථකම් පතුරුවන්නා වූද අය වෙති. පරාජිතයෝ වන්නේද මොවුහුමය.
28. (මිනිසුනි!) නුඹලා කෙසේ අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නහුද (ඔහු නුඹලා නිර්මාණය කරන්නට පෙර) නුඹලා ප්‍රාණ රහිතව සිටියාහුය. ඔහු එවිට නුඹලාට ජීවය දුන්නේය. තවද (නුඹලාගේ නියමිත ජීවිත කාලය අවසන් වූ විට) ඔහු නුඹලා මරණයට පත්කරනු ඇත. තවද (මරණින් පසු යලි විනිශ්චය දිනදී අල්ලාහ් නැවත) නුඹලාට ප්‍රාණය දෙනු ඇත. ඉන්පසු නුඹලා ඔහු වෙතටම පමුණුවනු ලබන්නාහුය.
29. මහපොළොවේ සියලු දේ නුඹලා(ගේ ප්‍රයෝජනය)ට නිර්මාණය කලේ ඔහුමය. පසුව ඔහු අහස දෙසට හැරී එය අහස් සතක් ලෙස නිර්මාණය කළේය. තවද ඔහු(අල්ලාහ්) සියලු දේ කෙරෙහිම සර්වඥ වන්නේය.
30. (නබි මුහම්මද්!) නුඹලාගේ පරමාධිපතියාණන් මලක්වරුන් (සුරදූතයින්) අමතා “නියත වශයෙන්ම මම පෘථිවියෙහි කලීෆාවරයෙකු (නියෝජිතයකු) පත් කරන්නට යමි”යි පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු “අප ඔබගේ ගුණගායන තස්බිහ් (ස්තෝත්‍ර) කරගනිමින්ද (ඔබගේ නාමය) තක්දීස් (පූජාර්භ) කරමින්ද සිටින අතර එහි (පෘථිවියෙහි) අවුල් ඇති කොට ලේ වැගිරවීම් කරවන අන්දමේ කෙනෙකුද ඔබ මවන්නට යන්නේ දැ”යි කීහ. (එවිට) නුඹලා නොදත් දේ නියත වශයෙන්ම මම දනිමියි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
31. ආදම්ට (විශ්වයේ) සියලුම (දැයෙහි) නාමයන් ඔහු (අල්ලාහ්) ඉගැන්වූයේය. ඉන්පසු (අල්ලාහ්) ඒවා (සියලු දැයම) මලක්වරුන් (සුරදුතයින්) ඉදිරියෙහි එළවා (මිනිසා නියෝජිතයකු ලෙස පත් කිරීම අවුල් වියවුල්වලට හේතුවන්නේ යැයි සිතන) නුඹලා සත්‍යවාදීහු නම් නුඹලා මේවායේ නාමයන් මට දන්වනුයි පැවසුවේය.
32. (එසේ දැන්වීමට නොහැකිව මලක්වරු, අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. ඔබ අපට ඉගැන්වූ දේ හැර වෙනත් දැනුමක් අපට නැත. නියත වශයෙන්ම සර්වඥද, සර්ව ප්‍රඥාද වන්නේ ඔබ පමණක් යැයි කීහ.
33. ආදම්! නුඹ මේවායේ නාමයන් ඔවුනට පවසනුයි (අල්ලාහ්) කීහ. ඔහු (ආදම්) ඒවායේ නාමයන් ඔවුන්(මලක්වරුන්)ට පැවසූ විට අහස්හිද, මහපොළොවෙහිද (නුඹලාට) සැඟවුණු දේ නියත වශයෙන්ම මම හොඳින් දනිමි. තවද නුඹලා එළිදරව් කරන දේද, සඟවන දේද මම හොඳින් දනිමියි මම නුඹලාට නොකිව්වෙමි දැයි (අල්ලාහ්) පැවසුවේය.
34. ආදම්ට සජ්දාහ් (නමස්කාර) කරවී යැයි අප (අල්ලාහ්) මලක්වරුන්ට කී කල්හි ඉබ්ලිස් හැර ඔවුහු (සියල්ලෝම) සජ්දාහ් (නමස්කාර) කලෝය. හේ (ඉබ්ලීස් අපේ අණ) ප්‍රතික්ෂේප කළේය. උඩඟු විය. තවද ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් කෙනෙක්ද විය.
35. (ඉන්පසු අප ආදම්ට සහකාරිය වශයෙන් ඔහුගේ බිරිඳ මවා ඔවුන් වෙත) ආදම්, නුඹද, නුඹගේ බිරියද ජන්නත්(ස්වර්ගයේ) හි වාසය කරන්නැයිද එහි නුඹ දෙදෙනා කැමති සේ (කැමති තැනකින් ) අනුභව කරන්නැයිද නමුත් නුඹ දෙදෙනා මේ ගසට ලං නොවනු යයිද එසේ වුවහොත් නුඹ දෙදෙනා දාලිමීන් (පාපකාරී ක්‍රියාවන්හි යෙදී වරද කළ වුන්) වන්නේ යැයිද අපි (අල්ලාහ්) කීවෙමු.
36. එහෙත් ෂෙයිතාන් ඔවුන් දෙදෙනා (අපේ අණ කඩකර) නොමඟ යවා (ඒ ගස වෙත යාමට පෙළඹවීමෙන්) එහි සිටි තත්ත්වයෙන් ඉවත් කෙරෙව්වේය. එවිට අපි (අල්ලාහ්) නුඹලා (ස්වර්ගයෙන්) බසිනු ( මනුෂ්‍යයා හා ෂෙයිතාන් වන) නුඹලා කෙනෙක් කෙනෙකුට සතුරුය. නුඹලාට පෘථිවියේ කලකට වාසයද භුක්ති විඳීමටද ඇතැයි කීවෙමු.
37. එවිට ආදම් ඔහුගේ රබ් (පරමාධිපති)ගෙන් වචන ස්වල්පයක් ඉගෙන ගත්තේය. (එමගින් ඔහු තම පශ්චාත්තාපය ප්‍රකාශ කළේය) එවිට (අල්ලාහ්) ඔහු(ආදම්)ට සමාව දානය කළේය. නියත වශයෙන්ම සමාව දානය කරන්නාද අසමසම කරුණාන්විත වන්නාද ඔහු (අල්ලාහ්)මය.
38. නුඹලා සියල්ලන්ම මෙතැනින් (ස්වර්ගයෙන්) පහලට බසිනු. මින් මතු මගෙන් නුඹලාට (මගේ ධර්ම ග්‍රන්ථය හා දුතයන් මගින්) යහමග ලැබෙනු ඇත. එවිට යම් කෙනකු මගේ යහමඟ අනුගමනය කළාහු නම්, ඔවුනට (අනාගතය පිළිබඳව) බියකුන්දු නැත. තවද (අතීතය පිළිබඳව) ඔවුහු ලතවන්නෝද නොවෙතියි අපි කීවෙමු.
39. (මෙම යහමඟ) ප්‍රතික්ෂේප කරන්නෝද අපගේ ආයාත් බොරු යැයි අභියෝග කරන්නෝද නිරයේ සහකාරයෝ ඔවුන්මය. ඔවුහු එහි සදාකල් රැඳී සිටිති.
40. ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට ප්‍රදානය කළ මාගේ අනුග්‍රහය සිහිකරනු. තවද නුඹලා මාගේ ගිවිසුම ඉටුකරනු. මම නුඹලාගේ ගිවිසුම ඉටු කරමි. තවද මට පමණක් බියවනු.
41. නුඹලා ළඟ ඇති දෑ (තව්රාත්) සත්‍ය කරමින් මා පහල කළා වූ දෑ (අල-කුර්ආනය) විශ්වාස කරනු. එය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් (දේව ග්‍රන්ථයන් ලද නුඹලා) පළමුවැන්නන් නොවනු. තවද මාගේ ආයාත් (වදන් හා සත්‍ය වීකුර්ති කර) සුළු මිලකට නොවිකුනනු. තවද මට පමණක් බියබැතිමත් වනු.
42. සත්‍යය අසත්‍යය හා මිශ්‍රකර අවුල් නොකරව්. තවද නුඹලා දැනුවත්වම සත්‍යය වසන් නොකරව්
43.තවද සලාත් (නැමදුම) ස්ටවරව ඉටු කරනු. සකාත් (ආගමික බද්ද)ද ගෙවනු. රුකූඋ (දන හිස් දෙකට අත් තබා නැමී වැඳීම) කරන්නන් සමග රුකුඋ කරනු.
44. නුඹලා (නුඹලාගේ ධර්මග්‍රන්ථය වන තව්රත්) ග්‍රන්ථය හදාරත්ම (එහිදී නුඹලා විසින් ඉටුකළ යුතු බවට නුඹලාට අණ කළ දෑ ගැන) නුඹලාම අමතක කරමින් යහපතම කිරීමට මිනිසුන්ට (අන් අයට) අණ කලන්නහුද? නුඹලාට කිසිඳු කල්පනා ශක්තියක් (සිහි බිද්ධියක්) නැතිද?
45. තවද ඉවසීමෙන් හා සලාතය (ඉටුකිරීම) මගින් පිහිට පතනු. නියත වශයෙන්ම එය (සලාතය) කාශිඊන් (සිතේ අල්ලාහ් කෙරෙහි ඇති බිය බැතිමත්කම ක්‍රියාවෙන් හෙළි කරන අය)ට හැර (අන් අයට) අතිශයින්ම දුෂ්කර කාර්යයකි.
46. (කශිඊන් යන) ඔවුහු නම් (මරණින් පසු පරමාන්ත දිනයේ) ඔවුන්ගේ රබ් (පරමාධිපති) සම්මුඛ වන බවත් ඔහුන් (අල්ලාහ්) වෙතටම ආපසු යන බවත් (ස්ථිර වශයෙන්ම) අවබෝධ කර ගන්නා අය වෙති
47. ඉස්රාරීල් දරුවනි! මා නුඹලාට ප්‍රදානය කළ මාගේ අනුග්‍රහයද, තවද, නියත වශයෙන්ම සකල ලෝවැසියන් අතර වඩා උසස් තත්ත්වයට මා නුඹලා පත්කළ බවද සිහිකරනු.
48. තවද කෙනෙකුට තව කෙනෙකුගෙන් කිසිම පිහිටක් පැතිය නොහැකි වන්නා වුද, තවත් කෙනකු වෙනුවෙන් මැදිහත් වීමක් භාරගනු නොලබන්නා වුද කෙනෙකුගෙන් වන්දියක් නොගන්නා වුද ( වැරදි කරන්නා වූ) ඔවුනට (කිසි අන්දමකින්) පිහිටක් නොලැබෙන්නා වුද (විනිශ්චය) දිනය ගැන බියවනු.
49. තවද නුඹලාගේ පිරිමි දරුවන් මරා නුඹලාගේ ස්ත්‍රීන්ට ජීවිත දානය දී නුඹලාට දරුණු වඩා හිංසා දුන් ෆිරඅවුන්ගේ ජනයාගෙන් අප නුඹලා මුදවාගත් අවස්ථාව සිහිකරනු. එහි නුඹලාගේ රබ්( පරමාධිපති) ගෙන් (නුඹලාට) මහත් පිරික්සුමක් විය.
50. තවද නුඹලාට අප (රතු) මුහුද දෙබෑකොට එමගින් නුඹලා මුදවා (නුඹලා ලුහු බඳිමින් පැමිණි) ෆීර්අවුන්ගේ පිරිස නුඹලා බලා සිටියදීම (මුහුදෙහි) අප ගිල් වූ අවස්ථාව (ගැන) සිහි කරනු.
51. තවද මූසා (මෝසෙස්තුමා)ට (තව්රත් ප්‍රදානය කිරීම පිණිස) සතලිස් රැයක් නියම කළෙමු. (ඒ සඳහා) ඔහු (තුර් සිනායි කන්දට) ගිය පසුව නුඹලා ( රනින් වාත්තු කළ) වසුපැටවකු (දෙවියකු ලෙස ඇදහීමට) ගත අවස්ථාව සිහිකරනු. සැබවින්ම මෙයින් නුඹලා බරපතල අපරාධකරුවෝ වූහ.
52.ඉන්පසු වුවද නුඹලා අපට කෘතඥවනු පිණිස අපි නුඹලාට සමාව දුන්නෙමු.
53. (නුඹලා මෙවැනි අධර්මිෂ්ඨ ක්‍රියාවන්හි නිරතව සිටි අවස්ථාවේදී) නුඹලා යහමග යවනු පිණිස අප මුසාට (තව්රත්) ග්‍රන්ථයද ෆුර්කානයද (සත්‍යය හා අසත්‍යය නිශ්චය කරන මිනුම් දණ්ඩය) දුන් අවස්ථාව සිහි කරනු.
54. තවද (මූස තුමා තූර් කන්දේ සිට ආපසු පැමිණ) මාගේ ජනයිනි, නුඹලා වසුපැටවා(දෙවියෙකු වශයෙන්) ගැනීමෙන් නියත වශයෙන්ම නුඹලා නුඹලාටම වරද කළාහුය. එබැවින් නුඹලාගේ නිර්මාර්තෘ (අල්ලාහ්) වෙත පශ්චාත්තාප වී සමාව අයදිනු. තවද නුඹලා (අතුරුන් වසු පැටවා දෙවියෙකු ලෙස ඇදහු අය) නුඹලා (අතුරින් වසු පැටවා නොඇදහූ අය විසින්) මරණයට පත් කරනු. ඒ නුඹලාගේ නිර්මාතෘ (අල්ලාහ්) කෙරෙහි නුඹලාට ඉතා යහපත් යැයි මූසා ඔහුගේ ජනයාට කී සැටි සිහිකරනු. (එසේ කලවිට) ඔහු(අල්ලාහ්) නුඹලාට සමාව දුන්නේය. නියත වශයෙන්ම ක්ෂමා සහගත වන්නේත් අසමස කරුනන්විත වන්නේත් ඔහු(අල්ල්හ්)මය.
55. තවද, මූසා අපි අල්ලාහ් ප්‍රත්‍යක්ෂ ලෙස දකින තුරු ඔබ ගැන කිසි විටකත් විශ්වාස නොකරන්නෙමුයි නුඹලා (මූසාට) පැවසූ විට නුඹලා බලා සිටියදීම නුඹලාට අකුණු සැර වැදුණු අවස්ථාව ගැන සිහි කරනු.
56. ඉන්පසු නුඹලා (අපට) කෘතඥ වනු පිණිස (එහි අකුණු සැර වැදීමෙන් සිදු වූ) නුඹලාගේ මරණයෙන් පසුව නුඹලා අපි නැගිට්ටේව්වෙමු.
57. තවද නුඹලා(ගේ මුතුන් මිත්තන්)ට වලාකුළු සෙවනැල්ලක් කළෙමු. අල්මන්නද අස්සල්වාද නුඹලාට අපි (ආහාර පිණිස) පහළ කළෙමු. අහර වශයෙන් අප විසින් නුඹලාට දෙන ලද (අනුමත) හොඳ දැය අනුභව කරනුයැයි අපි අණ කළෙමු. (නමුත් ඔවුහු අපගේ අණට අකීකරු වූහ) එමගින් ඔවූහු අපට හානියක් නොකළාහුය. ඔවූහු තමන්ටම හානි කර ගත්හ.
58. තවද (නුඹලාගේ මුතුන් මිත්තන්ට) නුඹලා මේ නගරයට ඇතුළු වී එහි නුඹලාට රිසි තැනක (රිසි දැය) රිසි ලෙස අනුභව කරනුයිද (යටහත් පහත් භාවයෙන් යුතුව) හිස පහත්කර හිත්ත්තූන් යැයි කියමින් වාසල් දොරින් ඇතුළු වනුයිද එවිට අපි නුඹලාගේ වැරදිවලට නුඹලාට සමා කරන්නේමුයිද තවද යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නන් (ගේ තිළිණ) වැඩි කරන්නේමුයිද අපි පැවසූ බව සිහිකරනු
59. අපරාධ කළ අය ඔවුන්ට පවසන ලද්දාවූ (හිත්තතූන් යන) වදන් වෙනුවට තමන්ට නොපවසන ලද වෙනත් එකක් මාරු කළහ. එබැවින් (අල්ලාහ්ට විරුද්ධව අනර්තකම් කරමින් සිටි අපරාධකරුවන් වෙත) ඔවුන්ගේ උල්ලංඝනයන් නිසා අපි අහසින් දඬුවමක් කළෙමු.
60.තවද මූසා ඔහුගේ පිරිසට (අල්ලහ්ගෙන්) පැන් ඉල්ලා අයැද සිටි අවස්ථාව සිහිකරනු. එවිට අප ඔහුට නුඹගේ සැරයටියෙන් ගලට ගසන්නැයි කීවෙමු. එයින් (එකෙනෙහිම) උල්පත් දොළොසක් පැන නැග්ගේය. එවිට ඔහු සමග සිටි (දොළොස් ගෝත්‍රවලට අයත්) සියලු පිරිස ඔවුන්ගේ පැන් සනහන ස්ථානය දැන ගත්හ. (එවිට අප ඔවුන්ට නුඹලාට ) අල්ලාහ් සැපයූ (මන්නු, සල්වා යන ආහාර) භවභෝග සම්පත්වලින් අනුභව කරනු. (ගල් තුලින් ගලා හැලෙන ජලය) පානය කරනු. නමුත් අනර්තකාරින් ලෙස මහා පොළොවේ දූෂිත ක්‍රියාවන් නොපතුරුවනුයි (පැවසූවෙමු).
61. නමුත් මූසා අපට (සැමදිනම) එකම භෝජනය ඉවසා සිටීමට නොහැකිය. එබැවින් මහපොළොවේ හටගැනෙන පල වර්ග, කැකිරිද, තිරිඟුද, පරිප්පුද, සුදු ළූණු යන දැය අපට උපදවන ලෙස අප වෙනුවෙන් ඔබගේ රබ්(පරමාධිපති)ගෙන් අයදින්නැයි නුඹලා කීවෙහුය. (එයට) නුඹලා හොඳ දේ වෙනුවට පහත් දේ හුවමාරු කරන්න(ට කැමැත්ත) හුද, (එසේනම්) නුඹලා නගරයට (පදිංචිවන්නට ) යනු. එවිට නුඹලා ඉල්ලා සිටි දේ (එහිදී) නුඹලාට නියත වශයෙන්ම ලැබෙනු ඇතැයි ඔහු (මූසා) කීවේය. (එලෙස ඔවුන් හැසිරීම හේතුකොටගෙන) නින්දාව හා දුගී බව ඔවුන්ට විදින්නට සලස්වනු ලැබිණි. තවද අල්ලාහ්ගේ කෝපයටද ඔවුහු ලක්වූහ. එයට හේතුව ඔවුන් අල්ලහ්ගෙන් ආයාත් (සංඥාවන් හා වදන්) ප්‍රතික්ෂේප කිරීමද, යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කිරීමද වේ. තවද ඔවුන් (යලි යලිත් අල්ලාහ්ගේ අණට අකීකරු වී) පාපී ක්‍රියාවන්හි යෙදී සිටීමද (අල්ලාහ්ගේ නියෝගවලට එරෙහිව) සීමාවන් උල්ලොගනය කරමින් සිටීමද වේ.
62. විශ්වාස කරන අයද යුදෙව්වරුන්ද ක්‍රිස්තියනිවරුන්ද සාබිඌන්ද (යන මොවුන් අතුරින්) කවරෙක් හෝ අල්ලාහ් පිළිබඳව අවසාන දිනය පිළිබඳවද විශ්වාස කර යහකම් කරන්නේහුද ඔවුන්ට නියත වශයෙන්ම ඔවුන්ගේ රබ් (පරමාධිපති) වෙත ඔවුන්ගේ තිළිණ ඇත. තවද ඔවුන්ට බියකුදු නැත. ඔවුහු ළතැවන්නෝද නොවෙති.
63. තවද තූර් (කන්ද) නුඹලා මත අප ඔසවා අප නුඹලා සමග ගිවිසුම ගිවිසාගත් අවස්ථාවේදී නුඹලා වෙත අප විසින් පිරිනමනලද දෑ(තව්රාත්) අධිස්ථානයෙන් යුතුව පිලිපදිනු යයිද එහි ඇති දේ (නිරතුරුව) සිතට ගනීවි යයිද එමගින් නුඹලා බිය බැතියන් විය හැකියැ(යිද අප පැවසූ සැටි) සිහියට නගනු.
64. ඉන්පසුවද නුඹලා (එම ගිවිසුමට) පිටුපෑවාහුය. නමුත් නුඹලාට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව නොවූයේ නම් නියත වශයෙන්ම (මීට බොහෝ කලකට පෙරම) නුඹලා අන්ත පරාජිතයෝ ලෙස සිටියවුන් වන්නේහුමය.
65. තවද (ආගමික වත්පිළිවෙත්හි යෙදිය යුතු වූ) සබත් (සෙනසුරාද) දින නුඹලා අතුරින් (මසුන් ඇල්ලීම තහනම් යැයි වූ) අණ, උල්ලංඝනය කළ අය පිළිබඳවද, එබැවින් ඔවුන්ට අප නුඹලා නීච බවට පත් වූ වඳුරන් වනුයි කී දැය නුඹලා දැන සිටියාහුය.
66. අපි එය (වෙස් පෙරලීම) එකල සිටියවුන්ටද පසුව පැවතෙන්නවූනටද අනතුරු ඇඟවීමක් ලෙසද මුත්තකීන්වරුන්(බිය බැතියන්)ට උපදේශයක් ලෙසද කළෙමු.
67. තවද මෙය සිහියට නගනු. එළදෙනක මරන්නට නුඹලාට අල්ලාහ් අණ කරන්නේ යැයි මූසා ඔවුගේ පිරිසට කී කල්හි ඔවුහු (මූසට) ඔබ අප සරදමක් ලෙස ගත්තෙහිදැයි කීහ. (එවිට) මම (සරදම් කරන) අඥානයින්ගෙන් කෙනෙක් නොවන පිණිස අල්ලහිගෙන් ආරක්ෂාව පතමියි ඔහු (මූසා) කීවේය.
68. ඈ කවර(එළදෙන)ක දැයි අපට පැහැදිලි කරන ලෙස ඔබගේ රබ් (පරමාධිපති)ගෙන් අප වෙනුවෙන් ආසන්නයි (ඔවුහු) කීවෝය. (එවිට මූසා) නියත වශයෙන්ම ඈ (වයසින්) මුහුකූර නොගියාවූද ළාබාල නොවූද ඉන් අතර (මැදිවියේ එළදෙනක) යැයිද ඔහු (අල්ලාහ්) පවසයි. එබැවින් නුඹලාට අණ කරන ලදදේ කරනුයි (මූසා) කීවේය.
69. ඈ කෙබඳු වර්ණයක් (ඇත්තී) දැයි අපට පැහැදිලි කරන ලෙස නුඹගේ රබ්(පරමාධිපති)ගෙන් අප වෙනුවෙන් ඉල්ලා සිටින්නැයි (ඔවුහු) කීවෝය. (එවිට) ඈ දුටුවන් ප්‍රිය කරන තද කහ වර්ණයෙන් යුත් එලදෙනකයි අල්ලාහ් පවසන්නේ යැයි ඔහු (මූසා) කීවේය.
70. (එවිට) නියත වශයෙන්ම (එම) එළදෙන අපට පටලැවී ඇත. ඈ කවරේදැයි අපට පැහැදිලි කරන ලෙස අප වෙනුවෙන් ඔබගේ රබ්(පරමාධිපති) ගෙන් අසන්න. (එසේ විස්තර කළහොත්) අල්ලාහ්ට අභිමත වී නම් නියත වශවෙන් ම මෙම කාර්යයෙහි යහමග ලද්දවුන් වන්නේමුයි ඔවුහු කීවෝය.
71. (එවිට මූසා) ඈ (මෙතෙක්) නඟුලේ නොබැඳි පොලොව සාන්නට නොයෙදූ, (පුහුණු නොකළාවූද) කෙතට ජලය නොසපයූ, පිරිපුන්, මනා සෞක්‍යයෙන් යුත්, නොකැළැල් එළදෙනකැයි (අල්ලාහ්) පවසන්නේ යැයි කීවේය. (එයට) ඔවුහු, ඔබ සත්‍ය ගෙනෙන ලද්දේ දැන් යැයි කියමින් පසුව අකමැත්තෙන් වුවද ඈ ඝාතනය කලෝය.
72. තවද නුඹලා කෙනකු මරා (එහි වරද වෙන කෙනෙකු පිට පැවරීමට) නුඹලා විවාද කළ අවස්ථාව සිහියට නගනු. (මිනීමැරුම සම්බන්ධයෙන්) නුඹලා සැඟවීමට උත්සාහ කළ දේ අල්ලාහ් හෙළිදරව් කරන්නේහුය.
73. එබැවින් (ඔවුන්ට) නුඹලා (ඝාතනය කරනු ලැබූ) ඇ(එළදෙන)ගේ (මස්) කොටසකින් එය(මල සිරුර)ට ගසනුයි අපි කී වෙමු. (ඔවුහු එසේ කළ විට මළ සිරුරට යලි ජීවය ලැබුනේය. පසුව ඝාතනයට ලක් වූ තැනැත්තා විසින් ඝාතකයා කවරෙකුදැයි පෙන්වා දෙන ලදී. මරණයට පත් වූ ඒ මිනිසාට අල්ලාහ් තම බලපරාක්‍රමයෙන් නැවත ජීවය ලබා දුන්නක් මෙන්) මළවුන්(සියල්ලන්) ටද මෙලෙස අල්ලාහ් (තම බලපරාක්‍රමයෙන්) යලි ජීවය දෙන්නේය. නුඹලා වටහාගනු පිණිස අල්ලාහ් තම ආයාත් (සංඥාවන් මෙලෙස) නුඹලාට පෙන්වා දෙන්නේය.
74. (ඉහත දැක්වූ ප්‍රාතිහාර්යය දැකීමෙන්) පසුවද නුඹලාගේ සිත් දැඩි විය. ඒවා (සිත්) ගල් මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඩි විය. නියත වශයෙන්ම ගල් අතුරින් ඒ තුලින් ගංගා පිටාර ගලන (ගල්ද) තවද නියත වශයෙන්ම දෙබෑවී එයින් එහිදී ජලධාරා වහනය වන (ගල්ද) තවද නියත වශයෙන්ම අල්ලාහ්ට බියෙන් (කදු මතින්) ඇද හැලෙන (ගල්ද) ඒ අතර ඇත. නුඹලා කරන දේ අල්ලාහ් නොදැන සිටින්නේ නොවේ.
75. (විශ්වාසවන්තයිනි) අල්ලාහ්ගේ වදන්වලට සවන්දී ඒවා මැනවින් අවබෝධ කොටගෙන අනතුරුව දැනුවත්වම එය විකෘති කරන පිරිසක් ඔවුන් අතරෙහි සිටියදී (ඔවුන්) නුඹලා (ගේ ධර්ම දේශනාවලට සවන්දී) විශ්වාස කරතැයි (නුඹලා) අපේක්ෂා කරන්නහුද?.
76.ඔවුහු (යුදෙව්වන්) විශ්වාසවන්තයින් හමුවූ විට අපද විශ්වාස කරන්නේමුයි කියති. නමුත් ඔවුන් අතරින් ඇතැමෙක් ඇතමකු හුදෙකලාව හමුවූ විට නුඹලාට බුද්ධියක් නැතිද? (නුඹලාගේ ධර්මයෙහි) අල්ලාහ් නුඹලාට අනාවරණය කලදේ නුඹලා ඔවුන්ට හෙළිදරව් කරන්නේද? එබැවින් නුඹලාගේ රබ්(පරමාධිපති) ඉදිරියේදී ඔවුන්ට එමගින් නුඹලාට එමගින් නුඹලාට (එරෙහිව) වාදකරන්නට හැකිවනු ඇතැයි යුදෙව්වරු කීහ.
77. ඔවුන් සඟවන දේද හෙළිදරව් කරන දේද, නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බව ඔවුන් නොදන්නේහුද?
78. හිස් බලාපොරොත්තු හැර ධර්ම ග්‍රන්ථය පිළිබඳව කිසිවක් නොදත් අනුමානයෙන් පමණක් සිටින නූගත් අයද ඔවුන් අතර සිටිති.
79. තමන්ගේ අත්වලින්ම (ධර්ම) ග්‍රන්ථය ලියා ඉන්පසුව සුළු මිලක් ලබාගැනීමේ අරමුණ ඉටුකර ගැනීම සඳහා මෙය අල්ලහ්ගෙන් යැයි පවසන්නවුනට ඛේදය වේ. ඔවුන්ගේ අත් ලියු නිසාද ඔවුන්ට ඛේදය වේ.
80. තවද නියමිත දින ගණනක් හැර අප ගින්න අප ස්පර්ශ නොකරන්නේම යැයි ඔවුහු (යුදෙව්වරු) කීවාහුය. අල්ලාහ් නුඹලා සමග ගිවිසුමකට බැදී ඇත්තේද? එසේනම් අල්ලාහ් තම ගිවිසුම කිසිවිටකත් කඩනොකරන්නේමය. නැතහොත් නුඹලා නොදන්නා දේ අල්ලාහ් කෙරෙහි කියන්නාහු දැයි (නබි මුහම්මද්! ඔවුන්ට) පවසනු.
81. එසේ නොව, කවරෙක් හෝ දුෂ්ඨ කම් උපයාගෙන, තවද ඔවුගේ පාපය ඔහු වටකරමින් තිබෙන්නේද ඔවුහු අපා ගින්නෙහි සහකාරයෝය, ඔවුහු සදාකල් එහි රැදී සිටිති.
82. තවද, කව්රු විශ්වාස කර යහකම් කරන්නේද ස්වර්ගයේ සහකරයෝ වන්නේ ඔවුහුමය, ඔවුහු එහි සදාකල් රැදී සිටිති.
83. අල්ලාහ් හැර (වෙන කිසිවෙකු හෝ කිසිවක්) නමදුම් නොකරනුයිද දෙමව්පියන් වෙත (යුතුකම් ඉටුකර) ඇප උපස්ථාන කරනුයිද නෑදෑයින්ටද අනාථයින්ටද දුගියන්ටද (ඇප උපස්ථාන කරනුයිද) තවද මිනිසුන්ට ප්‍රිය වදන් පවසනුයිද සලත්හි නිරතවනුයිද ස(z)කාත් දෙනුයිද යනුවෙන් (මුතුන්මිත්තන් වූ) ඉස්රාඊල් දරුවන් සමග අප ගිවිසුමක් කරගත් සැටි සිහියට නගනු. ඉන්පසුවද නුඹලා අතුරින් ටික දෙනෙකු හැර (අන් අය එම ගිවිසුම) නොසලකා මග හැරියාහුය.
84. තවද නුඹලා(එකිනෙකා)ගේ ලේ නොසිදිනුයිද නුඹලාගේ (එකිනෙකා) තම වාසභුමියෙන් (අනෙකාව) බැහැර නොකරනුයිද (මුතුන්මිත්තන්ගෙන්) අප ගිවිසුමක් (ඇතිකර) ගත් සැටි සිහියට නගනු. නුඹලා (එම ගිවිසුමට) සාක්ෂිකරුවන් ලෙස සිටි අතර එය ස්ථිරද කළාහුය.
85. ඉන්පසුව(ද) නුඹලා පවු කිරීමේද සීමාව ඉක්මවීමෙදීද කෙනකුට කෙනෙක් අනුබල දෙමින් නුඹලා සමග සම්භන්ධ අය මරා නුඹලාගෙන් කොටසක් ඔවුන්ගේ වසභූමියෙන් බැහැර කළේ (දැනට ජීවතුන් අතර සිටින) නුබලාමය. තවද ඔවුන් නුඹලා වෙත (යුධ) සිරකරුවන් ලෙස පැමිණියොත් (නුඹලා) ඔවුන් මුදා හරින්නේහුය. ඔවුන් පිටුවහල් කිරීම නුඹලාට (තව්රත් මගින්) තහනම්ව තිබියදීත් නුඹලා ධර්ම ග්‍රන්ථයෙහි කොටසක් විශ්වාස කර තවත් ජීවිතයේ ඔවුන්ට නින්දාව හැර (වෙනත්) විපාකයක් නැත. තවද පර්මන්ත දිනයේදීද ඉතා තදබල වේදනාව කර ඔවුහු හරවා යවනු ලබන්නහුය. තවද නුඹලා කරන දේ ගැන අල්ල්හ් තැකීමක් නැත්තකු නොවේ.
86. පරලොව (ජීවිතය) වෙනුවෙන් මෙලොව ජීවිතය මිලට ගත අය වන්නේ ඔවුහුමය. එබැවින් ඔවුනට දුක් වේදනා ලිහිල් කරනු නොලැබේ. තවද ඔවුන්ට පිහිට ලබීමක්ද නැත.
87. (යුදෙව්වනි!) නියත වශයෙන්මා අපි මූසාට (තව්රත්) ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද ඔහුට පසුව (ධර්ම) දුතයින් ගණනාවක්ම අනුපිළිවෙලින් යැවීමු. තවද මර්යම් පුත් ඉසා (ජේසුතුමා)ට පැහැදිලි සාධකයන් පිරිනැමුවෙමු. තවද ශුද්ධාත්මය මගින් ඔහු ශක්තිමත් කළෙමු. (නමුත් අපගේ) ධර්ම දුතකයකු නුඹලාට අකමැති වන දේ ගෙනෙන සෑම විටකම නුඹලා අහංකාර වූවාහුය. නුඹලා (ධර්ම දුතයින්) පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය.
88. අපගේ සිත් වසා ඇතැයි ඔවුහු කීහ. එසේ නොව ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. එම නිසා ස්වල්පයකි ඔවුන් විශ්වාස කරන්නේ.
89. ඔවුන් ළඟ ඇති දේ සත්‍ය කරන ග්‍රන්ථයක් අල්ලහ්ගෙන් ඔවුන් වෙත පැමිණි විට (ඔවුන් එය කෙසේ ක්‍රියාත්මක කරන්නේද) මීට පෙර ප්‍රතික්ෂේප කරන්නවුනට විරුද්ධව ජයග්‍රහණය ලැබීමට ඔවුහු (අල්ලාහ්ගේ පිහිට) අයැදිමින් සිටියහ. නමුත් ඔවුන් දැන සිටිදේ ඔවුන් වෙත පැමිණි විට, ඔවුහු එය ප්‍රතිෂේප කළහ. එබැවින් ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ්ගේ ශාපය (ඇති) වේවා.
90. අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් තමන්ට අභිමත වූ කෙනකුන් වෙත අල්ලාහ්ගේ ත්‍යාගශීලීත්වය පහල කිරීම පිළිබඳව ඊර්ශියාව හේතු කොටගෙන අල්ලාහ් පහල කල දේ ඔවුන් ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ ආත්මවලට හානි පමුණුවන සේ එය විකිණීම ඉතාමත් නපුරුය. එබැවින් ඔවුහු (අල්ලාහ්ගේ) උදහසින් උදහසට භාජනය වූහ. තවද ප්‍රතිෂේප කරන්නන්ට නින්දනීය දඩුවමක් ඇත.
91. අල්ලාහ් පහල කල දෑ විශ්වාස කරනුයි ඔවුන් (යුදෙව්වන්)ට කියනු ලැබූ විට අපවෙත පහල කලදේ අපි විශ්වාස කරන්නේමුයි ඔවුහු කියති. තවද ඔවුන් අතර තිබෙන දෑ සත්‍යයයි ප්‍රකාශ කරන සත්‍යයක්ව තිබියදීත් ඔවුහු ඉන්පසුව පහල කල (සියලු) දෑ ප්‍රතික්ෂේප කරති. නුඹලා විශ්වාස කරමින් සිටියාහු නම් නුඹලා කුමක් හේතුකොටගෙන මීට පෙර අල්ලාහ්ගේ නබිවරුන් ඝාතනය කලහුදැයි (නබි මුහම්මද්!) පවසනු.
92. නියත වශයෙන්ම මූසා පැහැදිලි සාධකයන් රැගෙන නුඹලා වෙත පැමිණියේය. නමුත් ඉන්පසුව නුඹලා වසුපැටවා(ඇදහීමට) ගත්තෙහුය. මෙලෙස නුඹලා(බරපතල) අපරාධකරුවෝ වී සිටියාහුය.
93. තවද තූර් (කන්ද) නුඹලා(ගේ මුතුන්මිත්තන්) මත අප ඔසවා අප විසින් පිරිනමන ලද දෑ (තව්රත්) අධිෂ්ඨානයෙන් යුතුව පිලිපදිනුයිද තවද නුඹලා සවන් දෙනුයිද නුඹලා සමඟ ගිවිසුමක් ගත් අවස්ථාව සිහියට නගනු. එයට ඔවුහු අපි (අල්ලාහ්ගේ වදන්වලට) සවන් දුන්නෙමු. නමුත් (අල්ලාහ්ගේ අනපනත්) නොපිලිපදිමුයි කීහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන ඔවුන්ගේ සිත්තුල වසුපැටවා (කෙරෙහි මනාපය) කාවද්දන ලදී. නුඹලා විශ්වාස කරන්නාහු නම්, නුඹලාගේ විශ්වාසය නුඹලාට අණවන දැය නපුරු යයි (නබි මුහම්මද්!) පවසනු.
94. පරලොව වාසස්ථානය (ස්වර්ගය) අන් මිනිසුන්ට හැර අල්ලාහ් වෙතින් නුඹලාට පමණක් වූයේ නම්, නුඹලා සත්‍යවාදීහු වූවෙහු නම්, මරණයට කැමති වනුයි (නබි මුහම්මද්!) පවසනු.
95. ඔවුන්ගේ සියතින් පෙර කළ (පාප) ක්‍රියාවන් හේතුකොටගෙන ඔවුහු ඒ(මරණ)ය කිසි කලෙකත් ප්‍රිය නොකරන්නහුමය. තවද අපරාධකරුවන් පිළිබඳව අල්ලාහ් මැනවින් දනී.
96. ඔවුන් (අන්) මිනිසුන්ටද ආදේශ තබන්නන්ටද වඩා මෙලොව ජීවත් වීමට බලවත් ආශාවක් ඇත්තන් සේ නුඹ ඔවුන් දකිනවා ඇත. ඔවුන් ඒකිනෙකා අවුරුදු දහසක් වුවද ජීවත් වීමට ඇලුම් කරති. එහෙත් එලෙස (දීර්ඝ) ජීවිතයක් ඔහුට දෙනු ලැබුවද එය ඔහුට හිමි වේදනාවෙන් ඔහුව ඈත් නොකරයි. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ මැනවින් දකියි.
97. යම් කෙනෙකු ජිබ්රීල් (ගබ්‍රියෙල්) ට සතුරු වන්නනේද (ඔහු මෙයද අවබෝධ කරගත යුතුය.) නියත වශයෙන් ඔහු (ජිබ්රීල්) ඊට පෙර ධර්ම ග්‍රන්ථයන් සත්‍ය කරමින්ද සෘජු මාර්ගයක් ලෙසද විශ්වාස කරන්නවුනට සුභාරංචියක් ලෙසද නියත වශෙයන්ම එය (අල්- කුර ආනය) අල්ලාහ්ගේ අවසරයෙන් නුඹගේ සිතට පහළ කළේ යැයි(නබි මුහම්මද්!) පවසනු.
98. (ඔවුන් ජිබ්රිල් කෙරෙහි සතුරුකම් පෑමට හේතුව මෙය වී නම් නබි මුහම්මද් පවසවු.) අල්ලාහ්ටද අල්ලාහ්ගේ මලක්වරුන් (සුරදූතයින්)ටද අල්ලාහ්ගේ රසූල් (ධර්මදූත) වරුන්ටද ජිබ්රීල්(ගබ්‍රියෙල්)ටද මිකයිල් (මයිකල්) ටද යමෙකු සතුරු වන්නේ නම් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් සතුරුය.
99. තවද නියත වශයෙන්ම අපි නුඹ වෙත පැහැදිලි ආයාත් (සංඥාවන්) පහළ කළෙමු. ෆාසිකුන්(අන්ර්ථකාමීන්) හැර (අන් කිසිවෙක්) ඒවා ප්‍රතික්ෂේප නොකරති.
100. ඔවුන් ගිවිසුමක් ගිවිසගත් සෑම අවස්ථාවකදීම ඔවුන් අතුරින් පිරිසක් එය (කඩකර ඉවතට) විසි නොකලාහුද? (එපමණක් නොවේ) සත්‍යය නම් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් විශ්වාස නොකරති.
101. ඔවුන් ළඟ ඇති (ධර්ම ග්‍රන්ථය) සත්‍ය කරමින් රසුල්වරයකු (ධර්ම දුතයකු) අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි (ධර්ම) ග්‍රන්ථය ලැබූ අය (යුදෙව්වන්) අතුරින් පිරිසක් නොදන්නවුන් සේ අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටුපසින් විසි කළහ.
102.තවද (එය වෙනුවට) සුලයිමාන්ගේ රාජ්‍ය කාලයේ ෂෙයිතනුන් ප්‍රකාශ කල දෑ (ඉන්ද්‍රජාලය) ඔවුහු (යුදෙව්වෝ) අනුගමනය කළහ. (සැබවින්ම) සුලයිමාන් (කිසිවිටෙකත් අල්ලාහ්) ප්‍රතික්ෂේප නොකළේය. එහෙත් මිනිසුන්ට ඉන්ද්‍රජාලට ඉගැන්විමෙන්ද බැබිලොනියාවේදී හාරූත්, මාරූත් යන මලක්වරු දෙදෙනා වෙත පහළ කල දෑ ඉගැන්විමෙන්ද ශේයිතානුහු ප්‍රතික්ෂේප කළහ. (එහෙත්) එම (මලක්වරු) දෙනෙනා අප (මිනිසුන්ට) හුදෙක් පරීක්ෂාවක් පමණකි. එනිසා මෙමගින් (අල්ලාහ්) ප්‍රතික්ෂේප නොකරන්නැයි ප්‍රකාශ කරනතුරු කිසිවෙකුටත් (ඉන්ද්‍රජාලය නොඉගන්වූහ.) නමුත් (ඉන්පසුවද) සැමියා හා ඔහුගේ බිරිඳ අතර භේද ඇති කරන දෑ පිළිබඳව (උපක්‍රමය) ඔවුන් දෙදෙනාගේ ඔවුහු ඉගෙන ගත්හ. අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව කිසිවෙකුටත් එමගින් පීඩාවක් ඇති කිරීමට ඔවුනට නොහැකිය. ඔවුහු ඉගෙන ගන්නේ ඔවුනට පීඩාගෙන දෙන හා ඔවුනට වැඩදායි නොවන දේවල්ය. තවද (විශ්වාසය වෙනුවට) එය (හූනියම් ශාස්ත්‍රාදිය) යමකු (මිලදී) ගන්නේද ඔහුට පරලොවදී කිසිම සෙතක් නොලැබෙනු ඇතැයි ඉතාමත් පැහැදිලිවම ඔවුහු දැන සිටියහ. තවද, තමන්ගේ ආත්මයන් විකුණා ඔවුන් ලබාගත් දෑ ඉතාමත් නපුරුය. (මෙය) ඔවුහු දැන සිටියාහු නම්!.
103. තවද ඔවුහු විශ්වාසකර ( අල්ලාහ්ට) බියබතිමත් වන්නේ නම් අල්ලහ්ගෙන් ලැබෙන තිළිණ වඩාත් යහපත් වනු ඇත. ඔවුහු දැනසිටියාහු නම්!
104. විශ්වාසවන්තයිනි (නබිතුමට) රාඉනා ( අපට සවන්දෙනු) යයි නොකියනු. උන්දුර්නා (අප වෙත අවධානය යොමු කරන්න) යයි කියා සාවධානයෙන් සවන් දෙනු. තවද ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනීය දඩුවමක් ඇත.
105. ධර්ම ග්‍රන්ථය හිමි අය අතුරින් ප්‍රතික්ෂේප කරන්නන්ද නැතහොත් මුෂ්රික්වරුන්(ආදේශ තබන්නන්)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් කිසියම් යහපත් දෙයක් නුඹලා වෙත පහල වීම ප්‍රිය නොකරති. තවද අල්ලාහ්ට අභිමත වූ කෙනෙකු ඔහුගේ දයාලුභාවයට විශේෂයෙන් තෝරා ගනී. අල්ලාහ් අතිශයින්ම ත්‍යාගශීලීය.
106. යම් කිසි ආයතයක් (වදනක්) අප අවලංගු කළහොත් හෝ එය අමතක කරවන ලදහොත් හෝ ඒ වෙනුවට එයට වැඩ ශ්‍රේෂ්ඨ වූ එකක් හෝ එබදුවූ (වදනක්) හෝ අපි ගෙන එන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්මන්න යැයි නුඹ නොදන්නේහිද ?.
107. අහස්වලද මහපොලොවෙහිද පරමාධිපත්‍යය නියත වශයෙන්ම අල්ලහ්ටම යැයි නුඹ නොදන්නේහිද? තවද නුඹලාට අල්ල්හ් හැර ආරක්ෂකයකු හෝ ආධාරකරුවකු හෝ නැත.
108. නැතහොත් මීට පෙර මූසගෙන් ප්‍රශ්න කරනු ලැබූවක් මෙන් නුඹලා නුඹලාගේ රසූල්වරයාගෙන් ප්‍රශ්න කරන්නට සිතන්නේහුද? යමකු විස්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය හුවමාරු කර ගන්නේද නියත වශයෙන්ම ඔහු සෘජු මාර්ගයෙන් නොමඟ ගිය අයෙක් වේ.
109. ධර්ම ග්‍රන්ථය හිමි අයගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ සිත් තුල ඊර්ෂ්‍යාව හේතුකොටගෙන ඔවුන්ට සත්‍යය හෙළිදරව් වූවායින් පසුවද නුඹලා විශ්වසීකයින් වූ පසුව අවිශ්වාසිකයින් ලෙස හැසිරිය යුතු යැයි අපේක්ෂා කරති. එබැවින් අල්ලහ්ගෙන් විධානයක් ලැබෙන තුරු නුඹලා සමාව දෙනු, ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දේ කෙරෙහි බලසම්පන්නය.
cond