කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ෂරියා වටිනාකම් පදනම් කරගත් ක්‍රම වේදයක් හඳුන්වා දී තිබේ. මේ සඳහා ඔවුන් හා එක්වී කටයුතු කරන්නේ ගොර්ඩියන් ඉන්වෙස්මන්ට් හවුස් සමාගම යි. ඉස්ලාමීය සුරැකුම්පත් ගිණුම නමින් හැඳින්වෙන එම නව ක්‍රමවේදය ගෝර්ඩියන් සමාගමේ ෂරියා උපදේශන හා අධීක්ෂණ මණ්ඩලයේ පූර්ණ සහයෙන් නිර්මාණය වූවකි.
මෙම උපදේශන හා අධීක්ෂණ මණ්ඩලය ආචාර්ය මොහොමඩ් අලි එල්ගාරි, ආචාර්ය ඩාවුබ් බේකර්, ආචාර්ය මුහමඩ් අමීන් අලි කටාන්, ආචාර්ය ඔසාමා අල් දෙරෙයි වැනි ජාත්‍යන්තරව කීර්තියට පත් ප්‍රවීණයින්ගෙන් සමන්විත වන අතර එම විද්වත් මණ්ඩලය විසින් එම ක්‍රමවේදයට කොටස් ඇතුළත් කර ගැනීම පිණිස භාවිත ක්‍රමය මුස්ලිම් ආයෝජකයන් සඳහා යෝග්‍ය ෂරියා ක්‍රමයට අනුකූල බවට සහතික කර ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි අදාළ සමාගම්හි ආයෝජනය කිරීමේදී ප්‍රමාණවත් ෂරියා උපදේශනයක් නොලැබීම නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් හට එම කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේ උපරීම ඵල නෙළා ගැනීමේ අවස්ථාව අහිමි විය.
ඉස්ලාමීය සුරැකුම්පත් ගිණුමේ වැදගත්කම වන්නේ මීට විසඳුම් ඉදිරිපත් කර මුස්ලිම් ආයෝජකයින් හට කොටස් වෙළෙඳ පොළ වර්ධනයේ උපරීම ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බැවිනි.
